බදාදා, 10 මැයි 2017 17:58

පිළිකුත්තුව රජමහා විහාරය

ලියන ලද්දේ

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිළිකුත්තුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති මෙම ලෙන් සංකීර්ණය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට නුවර යුගය දක්වා විහිදෙන ඉතිහාසයකට උරුම කම් කියයි. මෙම සංකීර්ණය තුල ප්‍රාග් ඓතිහාසික යුගය පිලිබදව සාධක දැක්වෙන ලෙන් කිහිපයක්ද ක්‍රි.පූ 2 - 3 සියවස්වල සංඝයා වහන්සේලා විසින් පරිහරණය කරන ලද කටාරම් සහිත ලෙන් රාශියක්ද එම යුගයට අයත් පුර්ව බ්‍රාහ්මීය සෙල් ලිපි තුනක්ද නුවර යුගයට අයත් ස්මාරක රාශියක්ද වේ.

පිළිකුත්තුව හා ඒ වටා ඇති ගම් අතර ඇති සම්බන්ධතාව ද මදක් විමසා බැලිය යුතුය. වතුරුගම පාරේ ඇති හේවාකන්ද, කිනිගම, පිළිකුත්තුව, බුත්පිටිය, පස්ගම්මන, මාලිගාතැන්න, මල්වතු-හිරිපිටිය, බටේපොල හා ඉන් එපිටට ඇති වතුරුගම රදාවාන ආදී ගම්වලින් හෙළිවන බොහෝ කරුණු මෙම රජමහා විහාරයට ඉතාමත් කිට්ටු සම්බන්ධකමක් මෙන්ම වැදගත් කමක්ද ඇති බව පෙනෙයි.

පෘතුගීසි පාලන සමයේදී සැගවුණු ප්‍රභූවරයෙකු ඇල්ලීම සදහා පෘතුගීසින් විශාල හේවායන් පිරිසක් රැගෙනවිත් මේ ප්‍රදේශයේ කන්දක් මුදුනේ රදවා ඇත. අද එම ස්ථානය හේවාකන්ද නම් වේ. පෘතුගීසින්ට උදවු නොකිරීම හේතුවෙන් එක් ගමක් ගිණිබත් කරන ලදී. පසුව ඒ ගම ගිනිගම වී අද වන විට කිනිගම ලෙස හැදින්වේ. නමුත් තවත් ජනප්‍රවාදයකට අනූව රජුට ආයුධ සෑදු ගම කිණිහිරගම ලෙස හදුන්වා පසුව එය කිනිගම වූ බවටද මතයක් පවතී. එසේම යුද්ධය සදහා බත් පිසූ ගම බත්පිටිය වී අද වන විට බුත්පිටිය යන නමින් හැදින්වේ.

දළදා වහන්සේ ටික කලක් මෙම ප්‍රදේශයේ සගවාගෙන සිට ඇති අතර තාවකාලික මාලිගාවක් සාදා දළදා වහන්සේට පුජෝපහාර දක්වා ඇත. මෙම මාලිගය සෑදීමට පස් ගත් ගම්මානය අද පස්ගම්මන නම් වේ. විශාල කදු මුදුනක දළදා මාලිගාව තනවා ඇති අතර අද එම ප්‍රදේශය මාලිගාතැන්න නම් වේ. දළදා පූජාවට මල් සැපයූ ගම හා මල්වතු පිහිටි ගම අද මල්වතු-හිරිපිටිය නම් වේ.

පිළිකුත්තුව නම සෑදුනු ආකාරය පිළිබදවද ජනප්‍රවාද කිහිපයක් අසන්නට ලැබේ. පිළි කොටුව, ආරච්චි කොටුව, මල් කොටුව, හාල්පන් කොටුව, බිලිගහ කොටුව යන කොටු පහ එකතු වී පිළි කොටුව නම් වී පසුව පිළිකොත්තුව සෑදී ඉන් පසුව පිළිකුත්තුව වී ඇතැයි කියවේ. රජවරුනට පිළි සැපයූ ගම්මානය වූ  නිසා පිළිකුත්තුව නම ලැබී යැයි තවත් ජනප්‍රවාදයකි.

තවද වළගම්බා රජ බිසව පරිහරණය කල පිළි, රන්, රිදී, මුතු සහ මැණික් සගවා තැබූ ගම්මානය හෙවත් පිළි සැගවූ ගම පිළිකුත්තුව නම් වී යැයි තවත් ජනප්‍රවාදයකින් කියැවේ.

ගමන් මග

කොළඹ සිට මාර්ග අංක 231 කිරිදිවැල බසයෙන් පැමිණ හෝ ගම්පහ සිට මාර්ග අංක 231 කිරිදිවැල බසයෙන් පැමිණ යක්කල නගරය පසු කර බටගොල්ල හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ ගිය විට පිළිකුත්තුව රජමහා විහාරයට පැමිණිය හැක. එසේ නැතහොත් ගම්පහින් මාර්ග අංක 205 වතුරුගම-කිරිදිවැල මාර්ගයේ පැමිණ පිළිකුත්තුව හන්දියෙන් වමට හැරී සැතපුම් 3/4 ක් පමණ පැමිණි විට මෙම විහාරස්ථානයට ලගා විය හැක.

Read 2222 times Last modified on ඉරිදා, 01 ජූලි 2018 02:47